Wednesday 22nd of April 2026

English Tamil
Advertiesment


යාංගල්මෝදර බස් නඩු තීන්දුවෙන් බස් රියදුරන්ට පාඩමක්


2025-09-09 14868

 

මෑතකදී රම්බොඩ, ගැරඬිඇල්ලෙන් සහ ඇල්ල-වැල්ලවාය මාර්ගයෙන් ඇසුණු මර ලතෝනි අපගේ හදවත් කම්පා කළේය. බස් රථ ප්‍රපාතවලට පෙරළී අහිංසක මිනිස් ජීවිත රැසක් එක මොහොතින් නිවී ගියේය. මේ එක සිදුවීමක් නොවේ; එය නැවත නැවතත් සිදුවන, අපේ රටේ මහා මාර්ග මරණයේ මංපෙත් බවට පත් කරන ඛේදවාචක දාමයකි.

බීමත්කම, නිදිමත, අධික වේගය, රථයේ තාක්ෂණික දෝෂ, සහ ලොරි චැසි මත සෑදූ අනාරක්ෂිත බස් රථ... හේතු ලැයිස්තුව දිගුය. නමුත් මේ සියල්ල පිටුපස ඇති බිහිසුණුම සත්‍යය නම්, මගීන්ගේ ජීවිත පිළිබඳව දක්වන අතිශය නොසැලකිලිමත්කමයි. බොහෝ දෙනෙක් සිතන්නේ මෙවන් අනතුරක් "අපරික්ෂාකාරී ක්‍රියාවක්" පමණක් ලෙසයි. එහෙත්, නීතියේ ඇසින් බලන විට එය "මි*නීමැරුමක්" බවට පත්විය හැකි බව ඔබ දන්නවාද?

මේ සඳහා අපගේ අවධානය, මීට හරියටම දශක දෙකකට පෙර එනම් 2005.04.27 දින මුළු රටම කම්පා කළ යාංගල්මෝදර දුම්රිය අනතුර සම්බන්ධ CA 91/2013 දරන අභියාචනාධිකරණ නඩු තීන්දුව වෙත යොමු කළ යුතුය. එය හුදෙක් නඩු තීන්දුවක් නොව, අද දවසේ සෑම බස් රථ රියදුරෙකුම තම හෘද සාක්ෂියෙන් කියවිය යුතු අනතුරු ඇඟවීමකි.

 

යාංගල්මෝදර ඛේදවාචකය සහ අධිකරණ තීන්දුව

 

යාංගල්මෝදර දුම්රිය හරස් මාර්ගයේදී, රතු එළි දැල්වෙමින්, ගේට්ටු වසා තිබියදී, මගීන් ධාරිතාවටත් වඩා පටවාගත් බස් රථයක් දුම්රිය මාර්ගයට ඇතුළු කිරීම නිසා සීඝ්‍රගාමී දුම්රියේ ගැටී මගීන් 40 දෙනෙකු මිය ගොස් විශාල පිරිසක් තුවාල ලැබූහ. මෙම සිදුවීමේදී බස් රථයේ රියදුරු (1 වන අභියාචකයා) සහ කොන්දොස්තර (2 වන අභියාචකයා) හට කුරුණෑගල මහාධිකරණය මගින් මිනීමැරුම් චෝදනාව ඇතුළු චෝදනා 33කට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය නියම කරන ලදී. 

ඔවුන් මෙම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ගියේ, තමන්ට මගීන් මැරීමේ "චේතනාවක්" නොතිබූ බව පවසමිනි. ඔවුන්ගේ නීතිඥවරයා පහත කරුණු ඉදිරිපත් කළේය:

 රේල් ගේට්ටුව අසල වෙනත් වාහන පිටුපස බසය නවත්වා තිබුණි.

 දුම්රිය මාර්ගයේ 'S' හැඩයේ වංගුවක් නිසා දුම්රිය එකවර නොපෙනුණි.

 කොන්දොස්තරවරයා බසයෙන් බැස පරීක්ෂා කර රියදුරුට සංඥා කළේය.

 බසය රේල් පීලි තරණය කරද්දී හදිසියේ දුම්රිය පැමිණ ගැටී ඇත.

 රියදුරු සහ කොන්දොස්තර ද මෙම සිදුවීමෙන් බරපතල තුවාල ලැබූහ.

 ඔවුන් දුම්රිය එන බව දැක්කා යැයි සෘජු සාක්ෂි නොමැත.

 අනතුර වළක්වා ගැනීමට ඔවුන් බසයෙන් පැන දිව ගොස් නැත.

ඔවුන්ගේ තර්කය වූයේ මෙය මිනීමැරුමක් නොව, දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ ගැනෙන "අපරික්ෂාකාරී හා නොසැලකිලිමත් ක්‍රියාවක්" බවයි.

 

"චේතනාව" නොමැති වුවද "මි*නීමැරුමක්" වන්නේ කෙසේද..?

 

මෙහිදී පැමිණිල්ල සහ ගරු අභියාචනාධිකරණය අවධානය යොමු කළේ දණ්ඩ නීති සංග්‍රහයේ 294 වගන්තියේ සුවිශේෂී සිව්වන පාදය වෙතය. එහි මෙසේ සඳහන් වේ:

"අන්තරාය කොපමණ ආසන්න ද කිව හොත් සෑම අතින් ම ම*රණය සිදුවිය හැකි බව හෝ මරණය සිදුවිය හැකි ශාරීරික පාඩුව විය හැකි බව ක්‍රියාව කරන්නා දැනගෙන සිටිමින් ම මර*ණය සිදු කිරීමේ හෝ ඉහත කී ලෙස පාඩුවක් සිදු කිරීමේ අවදානමට මුහුණ පෑමට සමාව දිය හැකි හේතුවක් නොමැතිවම, එකී ක්‍රියාව කිරීම."

මෙය සරලව තේරුම් ගනිමු. ඔබට යමෙකු මැ*රීමේ චේතනාවක් (intention) අවශ්‍ය නැත. නමුත් ඔබ කරන ක්‍රියාව කොතරම් භයානකද යත්, "එයින් මර*ණයක් සිදුවීමේ ඉතා ඉහළ සම්භාවිතාවක්" ඇති බවට ඔබට දැනුමක් (knowledge) තිබේ නම්, සහ එය කිරීමට ඔබට කිසිදු සාධාරණ හේතුවක් (නිදහසට කරුණක්) නොමැති නම්, එය මි*නීමැරුමක් ලෙස සැලකේ.

(සෝමපාල එදිරිව ද රැජින) නඩුවේදී අධිකරණය පැහැදිලි කළේ, "දැනුම යනු හුදෙක් මරණය විය හැකි බව නොව, එය ඇති වීමේ ඉහළ සම්භාවිතාව පිළිබඳ දැනුමයි."

 

යාංගල්මෝදර රියදුරුගේ ක්‍රියාව "මි-නීමැරුමක්" වූයේ ඇයි..?

 

අධිකරණය රියදුරුගේ ක්‍රියාකලාපය විශ්ලේෂණය කළේ මෙසේය:

 

අනතුර දැන සිටීම

▪️රේල් ගේට්ටුව වසා රතු එළි දැල්වෙන විට, දුම්රියක් පැමිණෙන බවට එය පැහැදිලි සංඥාවකි.

අවදානම ගැනීම

▪️වෙනත් වාහන නවත්වා බලා සිටියදී, මෙම රියදුරු තම බසය මාර්ගයේ වැරදි පැත්තෙන් ඉදිරියට ගෙන ගියේය.

සැලසුම් සහගත ක්‍රියාව

▪️ කොන්දොස්තරව මුරකරු ලෙස යැවීමෙන්ම, තමන් කරන්නේ අවදානම් ක්‍රියාවක් බව රියදුරු දැන සිටි බව ඔප්පු වේ. 

අනතුරු ඇඟවීම් නොසලකා හැරීම

▪️ අවට සිටි අය "දුම්රිය එනවා!" කියා කෑගසද්දීත්, අනතුරු ඇඟවීමේ සීනු නාද වෙද්දීත්, ඔහු බසය රේල් පීලි මතට ධාවනය කළේය.

මේ සියල්ලෙන් ඔප්පු වූයේ, තම ක්‍රියාවෙන් "සෑම සම්භාවිතාවකින්ම මර-ණයක් හෝ මර-ණයට හේතු විය හැකි තුවා-ලයක්" සිදුවිය හැකි බවට රියදුරුට පූර්ණ දැනුමක් තිබූ බවයි. ඔහුගේ එකම නිදහසට කරුණ වූයේ, මගීන් නියමිත වේලාවට කාර්යාල වෙත ගෙන යාමට උත්සාහ කිරීමයි. අධිකරණය එය "වලංගු නිදහසට කරුණක් නොවේ" යැයි තීරණය කළේය. මගීන්ගේ ජීවිත සිය ගණනක් පරදුවට තබා කාලය ඉතිරි කිරීම කිසිසේත්ම සමාව දිය හැකි කරුණක් නොවේ.

 

අද දවසේ රියදුරන්ට පාඩම 

 

යාංගල්මෝදර නඩු තීන්දුව යනු අතීතයට පමණක් සීමා වූ කතාවක් නොවේ. එය අද දවසේ, මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ ඕනෑම මහා මාර්ගයක බස් රථයක් පදවන සෑම රියදුරෙකුගේම හිසට ඉහළින් එල්ලෙන කඩුවක් බඳුය. 

"ට්‍රිප් එක වෙලාවට යන්න ඕන," "අනිත් බස් එකට කලින් යන්න ඕන," "කලින් ගියොත් තව හයර් එකක් දාගන්න පුළුවන්" වැනි සිතුවිලි ඔබගේ මනසේ තිබිය හැක. එහෙත්, නීතියේ ඇසින් බලන විට, ඔබගේ කාලසටහනට හෝ තරඟකාරීත්වයට වඩා ඔබගේ ක්‍රියාව පිටුපස ඇති "දැනුම" (Knowledge) සහ අවබෝධය වැදගත් වේ. අනතුරක් වූ පසු, "මම දැනගෙන හිටියේ නෑ" කීමෙන් ගැලවීමට නොහැකිය. මන්ද, ඔබ ගත් සෑම අවදානම් තීරණයක්ම, ඒ හා බැඳුණු බිහිසුණු ප්‍රතිඵලය පිළිබඳව ඔබට තිබූ දැනුමට සාක්ෂි දරන බැවිනි.

අද බහුලව දකින "Modified" සංස්කෘතිය ගැන මොහොතක් සිතන්න. වර්ණවත්, ඇස් නිලංකාර කරන ලයිට් පද්ධති, කිලෝමීටර් ගණනක් ඈතට ඇසෙන අධිබල ශබ්ද විකාශන යන්ත්‍ර සහ විසිතුරු සැරසිලි සඳහා ලක්ෂ ගණන් වියදම් කරන ඔබ, ඒ මුදලින් දශමයක් හෝ ගෙවී ගිය ටයර් හතර මාරු කිරීමට, දුර්වල වූ තිරිංග පද්ධතිය අලුත්වැඩියා කිරීමට, හෝ මගීන්ගේ ආරක්ෂාව තහවුරු කරන ආසන පටි සවි කිරීමට යොදවනවාද.?

අඩුම තරමේ ඔබ ඔබේ ආසන පටියවත් සවිකරගෙන තද කරගන්නවාද? ඒ අධික ශබ්දයට යටවී යන්නේ ගෙවී ගිය බ්‍රේක් ලයිනර් එකෙන් නැගෙන අනතුරු ඇඟවීමේ සියුම් හඬයි. ඔබ ඔබෙන්ම අසාගත යුතු ප්‍රශ්නය නම්, "මා ප්‍රමුඛත්වය දිය යුත්තේ පාරේ යන අන් අයට මගේ බස් රථය ආකර්ෂණීයව පෙන්වීමටද, නැතහොත් එහි ගමන් ගන්නා අහිංසක මගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමටද?" යන්නයි. කන පැලෙන සින්දු වෙනුවට කාර්මික දැනුම අවශ්‍ය වන්නේ එබැවිනි.

එවැනි, ප්‍රමිතියෙන් තොර, අනාරක්ෂිත වාහනයක සුක්කානම අතට ගන්නා මොහොතේ පටන්, ඔබ දැනුවත්වම මගීන්ගේ ජීවිත ඉහළ අවදානමක හෙළයි. මෙයද යාංගල්මෝදර නඩු තීන්දුවේ සඳහන් "අනතුර පිළිබඳ පූර්ණ දැනුම" යන්නට කදිම උදාහරණයකි.

ඊළඟ බරපතලම කාරණය වන්නේ "ලොරි චැසි බස් රථ" භාවිතයයි. ලොරි චැසියක් නිර්මාණය කර ඇත්තේ පණ නැති බඩු භාණ්ඩ ප්‍රවාහනය කිරීමට මිස, හුස්ම ගන්නා මිනිස් ජීවිත ආරක්ෂා කිරීමට නොවේ. එහි ගුරුත්ව කේන්ද්‍රය ඉහළින් පිහිටීම නිසා පහසුවෙන් පෙරළී යා හැකි අතර, එහි අවුෆ්බාවූ (Aufbau) (Body Structure) නිර්මාණය කර ඇත්තේ අනතුරකදී මගීන් ආරක්ෂා කිරීමට නොවේ. එය හුදෙක් ටකරන් කූඩුවක් සේ පොඩිපට්ටම් වී යයි...

අවසාන වශයෙන්, නිදිමත, වෙහෙස සහ මත්ද්‍රව්‍ය භාවිතය යනු ඔබ විසින්ම මාරයාට කරන ආරාධනාවකි. පැය ගණනක් එක දිගට නිදි වරාගෙන, කිසිදු විවේකයකින් තොරව රිය පදවන විට, ඔබගේ ප්‍රතිචාර දැක්වීමේ හැකියාව අඩපණ වේ. එය ඇස් බැඳගෙන සුක්කානම අල්ලනවාට දෙවැනි නැත.

තමන්ට නිදිමත බව දැන දැනත්, තව දුරටත් රිය ධාවනය කිරීමට තීරණය කිරීම, "මගේ ක්‍රියාවෙන් ම*රණීය අනතුරක් විය හැකිය" යන දැනුම ඇතුවම ගන්නා ලද තීරණයකි. මත්පැන් හෝ මත්ද්‍රව්‍ය භාවිත කර රිය පදවන විට තත්ත්වය මීටත් වඩා දරුණුය.

එබැවින්, සෑම බස් රථ රියදුරෙකුම තේරුම් ගත යුත්තේ, ඔබ අත ඇත්තේ හුදෙක් වාහනයක සුක්කානම පමණක් නොවන බවයි. එය පවුල් ගණනාවක බලාපොරොත්තු, දරුවන්ගේ සිනහව, සහ අනාගත සිහින රැගත් ජීවිත සිය ගණනක ඉරණමයි. යාංගල්මෝදර නඩු තීන්දුවෙන් අපට කියා දෙන පාඩම නම්, නොසැලකිලිමත්කම සහ මිනීමැරුම අතර ඇත්තේ ඉතා සියුම් ඉරක් බවයි. ඒ ඉර තීරණය වන්නේ, ඔබ දැන දැනම ගන්නා අවදානම් තීරණ මතයි. ඔබගේ දෑත්, මගීන් මරුමුවට ගෙන යන දෑත් නොව, ඔවුන්ව සුරක්ෂිතව ගමනාන්තයට රැගෙන යන දෑත් බවට පත්කරගන්න. 

ඔබ සිතට ගත යුතුයි, ඔබගේ නොසැලකිලිමත්කම නිසා අනතුරක් සිදුවී මගියෙකු මිය ගියහොත්, ඔබට එරෙහිව නැගෙන චෝදනාව "අපරික්ෂාකාරීව රිය පැදවීම" නොව, යාංගල්මෝදර නඩුවේදී මෙන් "මි-නීමැරුම්" චෝදනාවක් වීමට සෑම ඉඩක්ම ඇත. එහි අවසාන ප්‍රතිඵලය මරණීය දණ්ඩනය විය හැකිය.

බස් රථ රියදුරෙකුගේ වගකීම හුදෙක් ගමනාන්තයට මගීන් රැගෙන යාම පමණක් නොවේ. එම මගීන්ගේ ජීවිතවල සම්පූර්ණ ආරක්ෂාව තමා අත ඇති බව වටහා ගැනීමයි. මගියෙකු ටිකට් පතක් ලබා ගන්නේ තම ජීවිතය ඔබ අතට විශ්වාසයෙන් භාර දෙමිනි.

ඒ විශ්වාසය කඩ නොකරන්න.

යාංගල්මෝදර ඛේදවාචකයෙන් පාඩම් ඉගෙන ගෙන, නීතියේ බරපතලකම වටහාගෙන, තවත් අහිංසක ජීවිත මහා මාර්ගයේ බිලිවීමට ඉඩ නොදෙමු. ඔබගේ අතේ ඇත්තේ සුක්කානම පමණක් නොව, මිනිස් ජීවිත රාශියක ඉරණමයි.

 

- නීතිඥ නාලින්ද දිසානායක -
Advertiesment